Study Tips

මතක තියාගන්න

Remember

අපි අද ඔයාලට කියන්න යන්නෙ පාඩම් කරනකොට භාවිතා කරන්න පුළුවන් සරල ක්‍රම වේදයක් ගැන. මේක හරිම පුංචි දෙයක්. ඒත් මේක නිරන්තරයෙන් භාවිතා කරොත් එමඟින් ඔබේ මතක ශක්තියට කරන බලපෑම නැතිනම් ඔබේ විභාග ප්‍රතිඵලයට කරන බලපෑමනම් පුංචි එක්ක නෙවෙයි.

යම් කිසි විදියකින් මොනවහරි පාඩමක කොටසක්
පාඩම් කරල ඉවරවුණාට පස්සෙ, ටික දවසක් යද්දි ඒක ඉබේම අමතකවෙලා යනව නේද?.

ඒක සාමාන්‍ය දෙයක්.

මොකද අපේ මනසෙ රැ‍‍ඳ‍ෙන්නෙ එක්කො අපිට තදින් දැනුන දෙයක්, නැත්නම් අපි නිතර නිතර භාවිතා කරන දේවල් විතරයි. අනිත් දේවල් මතකයෙන් අතුගාල දානව. ඒක තමයි මනසේ ස්වාභාවය.

ඉතින් ඔයාලට මොනවහරි මතකයේ රඳවාගන්න ඕනෙනම් කරන්න ඕන‍ෙ මොකද්ද කියන එක දැන් ටිකක් පැහැදිලි ඇති.

එක්කො අපිට මතක තියාගන්න ඕන දේ අපිට හුඟක්ම දැනෙන්න ඕන. මේක පාඩම් වැඩකට සම්බන්ධ කරගන්න එක ඒ තරම් පහසු නෑ, ප්‍රායෝගිකත් නෑ. 

උදාහරණයක් විදියට,  ඔයාලට ගුරුවරයෙක් අනිත් හැමෝම ඉදිරියෙ බැන්නොත් නම් ඒක ටිකක් තදින් හිතට දැනේවි, ඒක නම් ලේසියෙන් අමතකවෙලා යන් නෑ නේද?. ලෑජ්ජාවයි, බයයි, දුකයි එක්ක බොහම තදින් හිතට කාවදින නිසයි එහෙම වෙන්නෙ. ඒත් පාඩම්කරන කරුණු ඒතරම් තදින් හිතට කාවද්ද ගන්න එක ඇත්තටම අමාරුයි.

ඕනෙනම් පොඩි උපක්‍රමයක් විදියට කෙනෙකුට පුළුවන් රූපසටහන් භාවිතා කරන්න. මොකද රූප සටහනක් අපේ හිතට කාවදින ප්‍රමාණය ටිකක් වැඩි නිසා(මේ ක්‍රමවේදය ගැන අපි වෙනම දවසක කතාකරමු).

හැබැයි අපිට තව විදියක් තියෙනව. ඇයි, අපි නිතර භාවිතා කරන දේවලුත් අපිට ලේසියෙන් අමතක වෙන් නෑනෙ. ඒක තමයි අපිට පාඩම් කරුණු මතක තියාගන්න භාවිතා කරන්න පුළුවන් පහසුම සහ ප්‍රායෝගිකම ක්‍රමය.

කොහමද අපි නිරන්තරයෙන් මතකය භාවිතා කරන්නෙ?

ඒකට විවිධ ක්‍රමවේද භාවිතා කරන්න පුළුවන්, 

  1. පුනරාවර්ජනය
  2. කෙටි සටහන් භාවිතය
  3. යෙදීම් භාවිතය
  4. සාකච්ඡාකිරීම
  5. Whiteboard භාවිතය
  6. ඉගැන්වීම
අද අපි මේ ක්‍රමවේද වලින් පළමුවෙනි ක්‍රමය ගැන තරමක් දුරට කතාකරල බලමු.
 

පුනරාවර්ජනය

එක් එක් අයගේ මතක ශක්තීන් එකිනෙකට වෙනස්. ඒ නිසා මේ ආවර්ජන ශක්තිය හෙවත් නැවත මතක් කරගැනීමේ හැකියාව එකිනෙකාට වෙනස් වෙනව. මේ සඳහා බලපාන විවිධ හේතු කාරණා තියෙනව. අපි කොයිතරම් දුරට සැහැල්ලුවෙන්, සහනශීලී මානසිකත්වයකින් ජීවත්වෙනවද කියන එකනම් මේකට ගොඩක් බලපානව. 

ඒ කොහමවුණත් තමන්ට පුළුවන් ප්‍රමාණයකින් හරි ඉගෙනගත්තු දේවල් නැතිනම් පාඩම් කරපුදේවල් නැවත නැවතත් සිහිකිරීම, මතක් කරබැලීම එම මතක සටහන් වල කල්පැවැත්ම නැතිනම් Retention එක වැඩිකරගන්න ඉතා තදින් බලපාන කාරණාවක්.

ඉතින් පංති ගිහිල්ල ඇවිල්ල, තේකක් බොන ගමන් අද මොනවද ඉගැන්නුවෙ කියල නැවත සිහිකරල බලන්න පොඩි පුරුද්දක් ඇති කරගත්තොත් ඒක ඔයාල හිතන්නෙ නැතිතරම් ඔයාලගෙ අන්තිම ප්‍රතිඵලයට බලපෑම් කරන්න ඉඩතියෙනව.

මේකට තව පුංචි දෙයක් එකතුකරන්න තියෙනව. ඒ තමයි අපිට නිතර නිතර සිහිවෙන්නෙ, අපි තදින් සම්බන්ධවුන දේවල්. 

ඒ කියන්නෙ?

එක්කො අපි ගොඩක්ම කැමතිදෙයක්.

නැත්නම් අපි අකමැතිම දෙයක්.( අපි කලින් කතාකරපු බැනුම් අහපු සිද්ධිය වගේ දෙයක්.)

ඉතින් අපිට යමක් නිතර සිහිවෙනවට කැමතිනම්, ඒක කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඒ ගැන කැමැත්තක් ඇති කරගැනීම. (ඔවු මට තේරෙනව, සමහර පාඩම් ගැන කැමැත්තක් ඇති වෙන්නෙම නෑ තමයි).

අපි කැමති දේවල් අපිට නිතරම සිහිවෙනව. ඒ වගේම තමයි ඒ දෙවල් සිහි වෙද්දි අපේ හිතේ සතුටක් ඇති වෙනව. මේ සතුට ඒ විශයය කරුණ තවතවත් ප්‍රගුණ කරන්න අපිව උසිගන්වනව. ඉතින් ඒ සියල්ල අපිව ඒ විශයය ශේෂ්ත්‍රය තුළ විශාරදභාවයට පත් කරනව.

ඒත් ඇයි අපිට විශයය කරුණක්, නැතිනම් විශයයක් නීරස වෙන්නෙ?

විශයය කරුණක් අමාරු වෙන්න වෙන්න අපිට ඒක නීරස වෙනව. ආයෙ ඒක බලන්නවත් අපිට හිතෙන්නෙ නෑ. ඒක සාමාන්‍ය දෙයක්!.

ඉතින් අපි කොහමද අමාරු විශයය කරුණකට කැමැත්තක් ඇති කරගන්නෙ?

අපිට යම් කිසි විශයයක් පිළිබඳ අවබෝධය අඩුවෙන්න අඩුවෙන්න, ඒ් පිළිබඳව නොතේරෙන්න නොතේරෙන්නයි අපිට ඒ විශයය කරුණ නීරස වෙන්නෙ. ඒ වගේම තමයි අපිට යම් කිසි විශයය කරුණක් තේරෙන කොට අවබෝධ වෙනකොට ඒ විශයය හරිම රසවත් වෙනව.

ඉතින් විශයය කරුණ සංකීර්ණ වුණ තරමටම ඒක තේරුම්ගත්තම හිතේ ඇතිවන සතුටත් වැඩිවෙනව. ඒ නිසා විශයය කරුණක් අමාරුවුණා කියල ඇතෑරල දාන්නෙ නැතුව. ඒකත් එක්ක පොරබැදල අමාරුවෙන්ම හරි තේරුම් ගත්තම, එදා ඉඳල ඒ විශයය රසවත් වෙන්න පටන්ගන්නව. මොකද ඔයාට ඒ විශයයේ 

රිද්මය ටිකෙන් ටික අහුවෙන්න පටන්ගන්න නිසා. මේ අත්දැකීම ලබපු අය දන්නව. අමාරු සංකීර්ණ විශයයන් කොයිතරම් රසවත්ද කියල.

ඒ නිසා ලේසි පහසු විශයයන් වගේම සංකීර්ණ අමාරු විශයයනුත් රසවිඳින්න පුරුදු වෙන්න. එතකොට පුනාරාවර්ජනය වගේම විභාගයත් බොහම රසවත් එකක් වේවි.

ඉතින් ඊළඟ ලිපියෙන් අපි කෙටි සටහන් භාවිතය ගැන කතාකරමු.

සුබ දවසක්! 

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest
Share on telegram
Telegram
Share on email
Email
Share on print
Print

Leave a Reply

Your email address will not be published. Required fields are marked *