අපි කලින් ලිපියෙන් කාතාවුණේ මතකය නැවත නැවත භාවිතාකරමින් අළුත් කරගන්න එකේ තියෙන වැදගත් කම පිළබඳව. ඉතින් මතක සටහන් අළුත්කරගන්නව කියන්නෙ, අපි ඒ් මතක සටහන්වල කල්පැවැත්ම නැත්නම් Duration එක වැඩිකරගන්නව කියන එකයි කියල අපි මතක්කරා. ඒ් සඳහා භාවිත කරන්න පුළුවන් පළවෙනි ක්‍රමවේදය විදියට පුනරාවර්ජනය පිළිබඳව සාකච්ඡා කරා.
ඉතින් මේ පුනරාවර්ජනයේදී ඇතිවන ගැටළු මොනවද?
- ඉගෙනගෙන නැත්නම් පාඩම්කරල කෙටි කාලයක් තුළ මේ පුනරාවර්ජනය කරන්නවෙනව. නැත්නම් පුනරාවර්ජනය කරන වෙලාව වෙනකොටත් පාඩම්කරපු දේවල් වලින් සෑහෙන ප්‍රමාණයක් අමතකවෙලා තියෙන්න පුළුවන්.
- ඒ වගේම පාඩමේ තියෙන සමහර කොටස් පුනරාවර්ජනයේදී මඟහැරෙන්නත් පුළුවන්.
මේව එකිනෙකාගෙ මතක ශක්තිය අනුව වෙනස්වුණත් හැමෝටම පොදුවේ බලපෑම් කරනව.
ඉතින් අපි කොහමද මේ ආවර්ජනය වඩා විදිමත් සහ ඵලදායී එකක් බවට පත් කරගන්නෙ?
මෙතෙන්දි තමයි අපිට කෙටිසටහන් (Short note) කියන එක ගොඩක් වැදගත් වෙන්නෙ.මොකද කෙටි සටහන් අපේ ආවර්ජනයේ ඵලදායීතාව වැඩිකරන නිසා.
කොහම උනත් මේ කෙටි සටහන් කලාව(ඔව් ඒක කලාවක් ඒක නිවැරදිව දන්න අයට තමයි ඒකෙන් නිවැරදිම ප්‍රතිඵලය ගන්න පුළුවන්) භාවිතා කරන කොට අපි ගොඩක් සැළකිලිමත් වෙන්න ඕන කාරණා කීපයක්ම තියෙනව. මොකද කෙටි සටහන් කියන එකත් හැමතැනටම ගැළපෙන්නෙ නැහැ. ඒ නිසා සුදුසු වෙලාවට සුදුසුස ක්‍රමවේදය තෝරගන්නත් අපි දක්ෂ වෙන්න ඕන.
මොකද කියනවනම් මේ කෙටි සටහන් නැවත පරිශීලනය කරන වේලාව වගේම ඒව ලියන වෙලාවත් බොහොම වැදගත්. සමහර අය ගුරුවරය උගන්නන අතරෙම කෙටිසටහන් හෝ ගොඩක් විස්තර පිටපත් කරගන්න උත්සාහවෙනව. වැදගත්ම දේවල් ලියාගන්න ඕන තමයි!. නමුත් ගුරුවරය උගන්වන අවස්ථාවෙදි මනා අවධානයකින් යුතුව ඒකට යොමුවෙලා ඉන්න එක තමයි වඩාත්ම වැදගත් වෙන්නෙ.කෙටි සටහන් වලට අපි වෙනමම වෙලාවක් වෙන්කරගමු.
එතකොට තමයි අපි අර කලින් ලිපියෙදි කිව්ව වගේ ගෙදරගිහින් තේකක් බොනගමන් වුණත් මතක් කරන්න පුළුවන් විදියට ඉගෙනගන්න දේවල් හිතට වදින්නෙ. ඒ නිසා අපි ඉගෙන ගන්න වෙලාවට ඉගෙන ගමු, පාඩම් කරන වෙලාවට පඩම් කරමු, වෙනත් දේවල් කරනවෙලාවට වෙනත් දේවල් කරමු(උදා: සෙල්ලම් කරන එක, විනෝද වෙනඑක; ඒවත් කරන්න එපැයි). ඕව පටලවා ගත්තොත් අපි කරන කිසිම දෙයක් සාර්ථක වෙන්නෙ නැහැ.
පාඩම් කරද්දිත් පළවෙනි පාරම පාඩම කියවගෙන යද්දි කෙටි සටහන් ගහන්න එපා. මොකද තාම ඔයාගෙ මනසෙ පාඩම ගැන සර්ව සම්පූර්ණ චිත්‍රයක් අඳිල නැති නිසා, එතකොට වැදගත් මොනවද නොවැදගත් මොනවද කියල හරියටම තෝරගන්න අමාරුවෙනව. ඒ් නිසා මුලින් පෑන පැත්තකින් තියල හොඳ නිදහස් මනසකින් පාඩමට හොඳින් සමවදින්න. ඒ පාඩමේ තියෙන විශයකරුණුවල අභ්‍යන්නතරයට රිංග ගන්න ඒක ගොඩක් වැදගත් වෙනව. මොකද අපි පාඩම මුලින්ම හොඳට අවබෝධ කරගෙන ඉන්න එක ගොඩක් වැදගත් වෙනව. ඒක මතකහිටින්නත් ලොකු හේතුවක් වෙනව. මොකද අවබෝධයෙන් මතක හිටින දේවල් ලේසියෙන් අමතක වෙන් නෑ.
කොහම උනත් එක පාරක් පාඩම ඔළුවට දාගත්තට පස්සෙ ඔයා කැමති විදියට ඒකත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන්. මොකද දැන් ඔයා පාඩම හොඳින් ග්‍රහණය කරගෙන ඉන්න නිසා. දැන් base එක දාල තියෙන්නෙ. ඉතින් මේක තමයි කෙටි සටහන් ටික ගහගන්න හොඳම වෙලාව. පාඩම ගැන හොඳ චිත්‍රයක් ඔළුවෙ තියෙන වෙලාවෙ ඉක්මනින්ම පාඩම උඩින් බලාගෙන යනගමන් වැදගත් දේවල් ඔයාගෙ කෙටි සටහන් අතරට යන්න ඔ්න. මෙතෙන්දිත් ලස්සන ගැන හිතල ගොඩක් කාලය නාස්තිකරන්න එපා. පිරිසිදුව පැහැදිලිව සටහන් කරගත්තනම් හොඳටම ඇති. මොකද ගොඩදෙනෙක් මෙ වගේ දේවල් වලට අනවශ්‍ය විදියට වෙලාව අරගෙන ලස්සන කරන්න යනව. ඒකෙන් වෙන්නෙ ටික දවසක් යද්දි වැඩේ එපා වෙන එක.
ඉතා කුඩා කාලයක් ඇතුළත පාඩමේ තියෙන මරමස්ථාන ටික කොල දෙක තුනකට ගන්න පුළුවන් නම් ඔයා දක්ෂයෙක්. කොලගාන අඩුකරගන්න ගොඩක් මහන්සි වෙන්නත් එපා. මොකද පාඩමේ හැටියට ඒක වෙනස් වෙනව. ඒ වගේම රූප සටහන් වගු ආදිය භාවිතා කරන එකත් මතක තියාගන්න ගොඩක් උදව් වෙනව.පාට පෑන් භාවිතා කරන එකත් වැදගත්.
කෙටි සටහනක් කියන එකෙන් අදහස් වෙන්නෙ අඩු කොල ගාණක් කියන එකට වඩා, කුඩා කාලයක් තුළ විශාල වපසරියක් ආවරණය කරන්න උපකාර කරන සටහනක් කියන එකයි. ඉතින් ඒ වගේ කෙටි සටහන් භාවිතා කළොත් විභාගය කිට්ටුවෙද්දි පැය කිහිපයක් තුළ මුළු විශයම අතොරක් නෑර ආවර්ජනය කරගන්න ඔබට ඒක උපකාර කරාවි.( මේකට විභාගෙ ලං වෙනකම්ම ඉන්නත් එපා, සැරින් සැරේ කෙටි සටහන් කියවල පුනරාවර්ජනය කරන එක පුරුද්දක් කරගන්න). අපි කෙටි සටහන් තැබීමේදී භාවිත කරන්න පුළුවන් නූතන ක්‍රමවේදයන් පිලබඳව වෙනම ලිපියකින් කතා කරමු.
සුබ දවසක්!